එන්රිකේ ඉග්ලේසියස්‌ මේ දිනවල ලංකාවේ ජනප්‍රිය චරිතයක්‌ බවට පත්වෙලා. ඔහු ලංකාවට ඇවිත් පැවැත්වූ ප්‍රසංගය හින්දා රටේ ජනාධිපති පවා මේ ප්‍රසංගය සංවිධානය කරපු සංවිධායකවරුන්ට දොස්‌ පැවරුවා. අපි මේ කතා කරන්න හදන්නේ ජනාධිපති කළ කතාව ගැනවත් සංවිධායකවරුන් ලෙස පෙනී සිටි මහේල සහ සංගක්‌කාරගේ ප්‍රකාශ ගැනවත් නෙමෙයි. මේ ප්‍රසංගය නරඹන්න ගිය අපේ රටේ ජනප්‍රිය ගායිකාවක්‌ වන කොරින් අල්මේදාට එන්රිකේගේ ප්‍රසංගය බලන්න ගිහින් වුණ අපහසුතාව ගැනයි.

Õ කොරින් ඔබ එන්රිකේගේ රසිකාවියක්‌ද?

අයියෝ මම රන්රිකේගේ රසිකාවියක්‌ නෙමෙයි.

Õ එහෙනම් ඇයි මේ ප්‍රසංගය බලන්න ගියේ ?

මගේ නංගිගේ දුව එන්රිකේගේ හොඳ රසිකාවියක්‌. එයා පසුගියදා ඇගේ පෙම්වතා එක්‌ක ලංකාවට ආවා. මම නංගිගේ දුවට නත්තල් තෑග්ගක්‌ විදිහට තමයි මේ ප්‍රසංගය බලන්න එක්‌කගෙන ගියේ.

Õ ටිකක්‌ කීයක්‌ ගත්තාද?

මම වීඅයිපී කියලා සඳහන් කරපු රුපියල් 35,000 ටිකට්‌ හතරක්‌ මිලදී ගත්තා. ඒ මගේ නංගිගේ දුවටයි, එයාගේ පෙම්වතාටයි, මගේ සහෝදරියකට සහ මටයි.

Õ කොහෙන්ද මිලදී ගත්තේ ?

ක්‍රෙස්‌කැට්‌ ආයතනයේ ඔවුන්ගේ ඩෙස්‌ක්‌ එකක්‌ දාලා තිබුණා. එතැනදී මගේ ක්‍රෙඩිට්‌ කාඩ් එක භාවිතා කරලා තමයි ගත්තේ.

Õ ප්‍රසංගය ගැන මොකද හිතන්නේ ?

අයියෝ ගන්න දෙයක්‌ නැහැ.

Õ ඇයි එහෙම කියන්නේ ?

මේ ප්‍රසංගය කිසිම සංවිධානයක්‌ ඇතිව නෙමෙයි පැවැත්වූයේ. එන්රිකේගේ ප්‍රසංගය බලන්න ගිය වෙලේ ඉඳන් ප්‍රශ්න.

Õ මොනවාද ඔච්චර ඇතිවුණ ප්‍රශ්න?

අපි රුපියල් 35,000 ක්‌ ගෙවලා ගියේ ස්‌පෙෂල් විදිහට බලන්නනේ.

Õ ඇයි එහෙම බලන්න ලැබුණේ නැතිද?

නැහැනේ. අපි ගෙදරින් පිටත් වුණේ 5.45 ට විතර. එතැනට ගියහම දිගු පෝලිමක්‌ තිබුණා. වීඅයිපී ඇතුළුවීමෙන් අපිව ගත්තේ නැහැ. නමුත් ටිකට්‌ මිලදී ගන්නකොට සංවිධායකයෝ ලොකු කතාන්දරනේ කිව්වේ. අන්තිමේ පෝලිමේ ඉඳලා පෑගිලා මැරෙනවා. පස්‌සේ තමයි අපිත් ඇත්ත දැනගත්තේ .

Õ මොනවාද ඔබ දැනගත් ඇත්ත?

එන්රිකේ ඇවිත් තියෙන්නේ ප්‍රමාදවෙලා. ඔහුට ඕනෑ විදිහට ස්‌ටේඡ් එක වගේම සවුන්ඩ් තිබිලා නැහැ. ඒක හින්දා ඒවා හදාගන්නකම් ඇවිත් හිටපු පිරිස පැය දෙකතුනක්‌ එළියේ තිබ්බා. මිනිස්‌සු ගේට්‌ටුව ළඟ තෙරපි තෙරපී හිටියා. අන්තිමේ අපි බිම පවා වාඩිවෙලා හිටියා. සංවිධායකයෝ කිව්වේ නැහැ ප්‍රසංගය ප්‍රමාදවුණේ ඇයි කියලාවත්. අන්තිමට තමයි වීඅයිපී ටිකට්‌ ගත්ත අය ඇතුළට දැම්මේ.

Õ ඊට පස්‌සේ මොකද වුණේ ?

පළමුවැනි සින්දුවේ භාගයක්‌ විතර යනකොට අපිවත් පෙරළගෙන රංචුවක්‌ වගේ පිරිසක්‌ ඉදිරියට ආවා. එතැනින් එහාට අපි හිටපු තැන් පවා හොයාගන්න බැරිවුණා. මම ඒ වෙලාවේ එළියට යන්න පවා හැදුවා. ඒත් කොහෙන්ද එළියට යන්නේ. ආපු තැනක්‌වත් හොයගන්න බැහැ.

Õ ඒ කියන්නේ ඔබට එන්රිකේ දැකගන්න බැරිවුණා?

දැකගන්න බැරිවුණානම් කමක්‌ නැහැ. එන්රිකේගේ හඬවත් ඇහුණේ නැහැ. සවුන්ඩ් අන්තිමයි. සින්දු දෙකක්‌ තුනක්‌ විතර සීඩී එකක්‌ දාලා එයාගේ වොයිස්‌ එකට උඩින් ගායනා කළා. අපිත් හොඳ සංගීතකාරයෝ. අපිටත් ඒක තේරෙනවා. මයික්‌ ඔන්කරලා සින්දු කිව්වේ දෙකයි. ඒකත් ඩබල් වොයිස්‌ ඇහුණේ.

Õ ඔය කියන විදිහට ප්‍රසංගය වැඩක්‌ නැහැ?

ඇත්තටම වැඩක්‌ නැහැ. අපිව රැවැට්‌ටුවා. මම මේ ගැන නීතිමය පියවර වුණත් ගන්න ලෑස්‌තියි. මොකද මා ළග තවම ඒ ඉතුරු ටිකට්‌ පත් හතරත් තියෙනවා. ලෝක පූජිත ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ දෙදෙනෙක්‌ වුණ සංගක්‌කාර සහ මහේල එකතුවෙලා ඔවුන්ගේ සමාගමකින් කරපු මේ වැඩේ අන්තිමයි. මම ඔවුන්ගෙන් මුදල් ඉල්ලනවා.

Õ ඇයි ඒ ?

අපිට වීඅයිපී කියලා රුපියල් තිස්‌පන්දහසට ටිකට්‌ විකුණලා අන්තිමේ රුපියල් පන්දහසේ ටිකට්‌වලට තිබුණ ස්‌ථානවල තමයි බලන්න වුණේ. මම කියන්නේ මගේ රුපියල් එක්‌ලක්‍ෂ හතළිස්‌දහසෙන් රුපියල් විසිදහසක්‌ තියාගෙන රුපියල් එක්‌ලක්‍ෂ විසිදහසක්‌ මට ලබාදෙන්න කියලයි. මම මේ හින්දා අපහසුතාවයට පත්වුණා.

Õ ඒ කොහොමද?

මම මේ ටිකට්‌ හතර අරගෙන ප්‍රසංගය බලන්න ගියේ ඉතාලියේ ඉඳන් නිවාඩුවට ලංකාවට ආපු මගේ නංගිගේ දුව හින්දා. එයාගේ පෙම්වතා පවා ඇවිත් හිටියා. අන්තිමේ මම ඔවුන් ඉදිරියේ පවා ලැඡ්ජාවට පත්වුණා.

(දිවයින පුවත්පත ඇසුරෙනි)
http://www.tharunaya.co.uk/news/news-Art-19673.htm...
සිතුවිලි සිරිපාල
  • January 8, 2016
  • ·
  • Like
  • ·
පහත දේ එලෙසම යොදන්න / Type below
Back To Top
TOP